යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන දේශපාලන නිදහසට, වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වලට සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වලට බලපෑ හැකි බැවින් ඒවා යළි සලකා බලන්නැයි ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
කෙටුම්පතේ ත්‍රස්තවාදය අර්ථ දක්වා ඇති ආකාරය පිළිබඳ ප්‍රශ්න මතු කළ ඔහු, එම ප්‍රතිපාදන දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව යොදාගැනීමේ අවදානමක් ඇති බව පැවසීය. නීතිඥයකු සහ සේවාදායකයකු අතර පවතින රහස්‍යභාවයට ඇති විය හැකි බලපෑම පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය.
පනත් කෙටුම්පත පිළිබඳ පුළුල් සංවාදයකට එළැඹීමට රජය ගෙන ඇති තීරණය පිළිගත් මුස්තාපා මහතා, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ අනෙකුත් අදාළ පාර්ශ්වවල අදහස් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
මෙම කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අවලංගු කර නව නීතිමය රාමුවක් හඳුන්වාදීම සඳහාය.
මේ අතර, නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවද කෙටුම්පත සම්බන්ධයෙන් සිවිල් සමාජ නියෝජිතයන්ගේ අදහස් විමසා තිබේ.
පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම පිළිබඳ එකඟතාවක් තිබුණද, ඒ වෙනුවට නව නීතියක් අවශ්‍යද යන්න සහ එයට ඇතුළත් කළ යුතු ප්‍රතිපාදන පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බව එහිදී සිවිල් සමාජ නියෝජිතයෝ පෙන්වා දුන්හ.
කෙටුම්පත සකස් කළ කමිටුවේ සහ රාජ්‍ය ආයතනවල නියෝජිතයන්ගේ ස්ථාවරය වූයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය පදනම සැකසීම එහි අරමුණ බවය. කෙටුම්පත සකස් කිරීමේදී මහජන අදහස් විමසා ඇති බවත්, සිවිල් සමාජය සමඟ තවත් සාකච්ඡා වට පැවැත්වීමට කටයුතු කරන බවත් කාරක සභා සභාපති වෛද්‍ය නජිත් ඉන්දික මහතා සඳහන් කළේය.



