රජයට පවරාගත් කතෝලික පාසල්වල පරිපාලනය, අධ්‍යාපන කටයුතු සහ කතෝලික ආගම ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධ ගැටලු කඩිනමින් විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ කතෝලික රදගුරු සම්මේලනයේ නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් අතර නොවැම්බර් 26 වැනිදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහභාගි වූ මෙම හමුවේදී, අදාළ ගැටලු සම්බන්ධයෙන් මීට පෙර ඇති කරගත් එකඟතා සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර ඇත.
රජය යටතේ පාලනය වන කතෝලික පාසල්වල පරිපාලන කටයුතු මෙන්ම කතෝලික ආගම ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවරද එහිදී අවධානයට ලක්ව තිබේ. එම කරුණු සඳහා විසඳුම් ලබාදීමේ කටයුතු කඩිනම් කිරීම නව කමිටුව පත් කිරීමේ අරමුණ වී ඇත.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරු හිමිපාණන් ඇතුළු රදගුරු සම්මේලනයේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා, පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ඩබ්ලිව්. ඒ. නීලිකා පෙරේරා මහත්මිය සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහුද ඊට සහභාගි වූහ.



