මහවිරු දිනය යෙදුණු 2026 නොවැම්බර් 27 වැනිදා පාර්ලිමේන්තුවේදී දිවි පිදූවන් සහ යුද්ධය හේතුවෙන් ජීවිත අහිමි වූ සිය ඥාතීන් සිහිපත් කරමින් උපහාර දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂණ්මුගම් කුගදාසන් ද එක්වෙමින් ජීවිත අහිමි වූ පිරිස සිහිපත් කර උපහාර දැක්වූ බව ශානක්කියන් රාසමාණික්කම් මහතා සඳහන් කර ඇත.

නොවැම්බර් 27 වැනි දිනය තම ජනතාවගේ ඉතිහාසයේ ගැඹුරු වේදනාවක් සහ නොමැකෙන මතකයන් රැගත් දිනයක් බව පෙන්වා දෙන ඔහු, දරුවන් සහ සමීපතමයන් අහිමි වූ පවුල්වල වේදනාව වචනවලින් විස්තර කළ නොහැකි බවද අවධාරණය කර තිබේ.

කාලය සහ පරම්පරා වෙනස් වුවද එම මතකයන් කිසිදා නොමැකෙන බවත්, එම මතකයන්ට ගරු කිරීම සහ පීඩාවට පත් පවුල්වල වේදනාව තේරුම් ගැනීම මානුෂීය යුතුකමක් බවත් මන්ත්‍රීවරයා සිය සටහන මඟින් වැඩිදුරටත් සඳහන් කළේය.