කැස්බෑව ප්රදේශයේදී 30 හැවිරිදි පුද්ගලයකුට පහර දී ඝාතනය කර, සිරුරේ අස්ථි බිඳ ඇළ ඉවුරක් ආසන්නයේ රහසිගතව වළ දැමූ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනකු කැස්බෑව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර මුරුතලාව ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි දුෂ්මන්ත සඳරුවන් නමැත්තා, 2026 නොවැම්බර් 23 වැනිදා කඨින පිංකමකට සහභාගි වීම සඳහා කැස්බෑවේ මංජු නමැති මිතුරකු හමුවීමට යන බව බිරිඳට පවසා නිවසින් පිටව ගොස් තිබේ. ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ පේරාදෙණිය සහ කැස්බෑව පොලිසිවලට පැමිණිලි කර ඇති අතර, කැස්බෑවට ගොස් මංජු හමුවී විමසූ විට දුෂ්මන්ත එහි නොපැමිණි බව ඔහු පැවසූ බව සඳහන් වේ.
මෙවැනි පසුබිමක දුෂ්මන්ත නිදහස් කිරීමට නම් රුපියල් 120,000ක මුදලක් ලබා දෙන ලෙස බිරිඳට නිර්නාමික දුරකථන ඇමතුමක්ද ලැබී ඇත. අතුරුදන් වී දින 5කට පසු පෞද්ගලික ඔත්තුකරුවකු කැස්බෑව පොලිසියට ඇමතුමක් දී, දුෂ්මන්ත මංජුගේ නිවසට පැමිණි බවත් පසුව හෙරළියාවල දේවාලයක පිටුපස කාමරයකට රැගෙන ගොස් පිරිසක් එක්ව පොලුමුගුරුවලින් පහර දී ඝාතනය කර, අලවංගුවකින් අස්ථි බිඳ බෑගයක දමා ඇළ ඉවුරක වළ දැමූ බවත් පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව විමර්ශන ඇරඹූ පොලිසිය දුෂ්මන්ත යතුරුපැදියෙන් මංජුගේ නිවස දෙසට ගමන් කරන අයුරු CCTV දර්ශන ඔස්සේ තහවුරු කර ගෙන ඇත. පසුව මංජු සහ තවත් අයකු කහපොළ ප්රදේශයේදීත්, දේවාලය භාර කපුවා යැයි පැවසෙන පුද්ගලයා හෙරළියාවල ප්රදේශයේදීත් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් 20, 36 සහ 37 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
සඟවා තිබියදී දුෂ්මන්ත පැමිණි යතුරුපැදිය සහ ගමන් මල්ලද සොයා ගෙන ඇති අතර, වළ දමා තිබූ සිරුර කැස්බෑව මහේස්ත්රාත්වරයා ඉදිරියේ ගොඩගෙන තිබේ. ඝාතනය සිදු කරන ආකාරය දෙවැනි සැකකරු ජංගම දුරකථනයක වීඩියෝගත කර පසුව මකා දමා ඇති බවත්, එම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි. පෞද්ගලික ආරවුලක් ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන බවද වාර්තා වේ.

