වසර ගණනාවක් පුරා ආදිවාසී වැදි නායකතුමා ඇතුළු ආදිවාසී ජනතාව, තම ප්‍රජාව වෙනුවෙන් විශේෂ පනතක් සම්මත කර ගැනීම සඳහා විවිධ රජයන් සමඟ සාකච්ඡා කළද, එම අපේක්ෂාව මෙතෙක් සාර්ථක වී නොතිබූ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.
කෙසේ වෙතත්, වත්මන් රජය ගත් උපායමාර්ගික පියවරයන් යටතේ, විශේෂයෙන් ගරු සුනිල් සෙනෙවි අමාත්‍යතුමාගේ සක්‍රීය මැදිහත්වීම මත, අදාළ ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව එතුමිය සඳහන් කළාය.
වැදි නායකතුමා විසින් අවධාරණය කරන ලද පරිදි, මෙම පනත සම්මත කර ගැනීමට ප්‍රථමයෙන්, අදාළ ප්‍රජාව සමඟ පුළුල් ලෙස සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවද එතුමිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
තවද, මෙම පනත සම්මත වන දිනයේදී පාර්ලිමේන්තුව තුළ මෙම ප්‍රජාවගේ නියෝජනය අනිවාර්යයෙන්ම තහවුරු විය යුතු අතර පවතින අනෙකුත් නීති රීති සමඟ ගැටුමක් ඇති නොවන අයුරින් නීතිමය පදනම ශක්තිමත් කරමින් සිදු කළ යුතු මෙම සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවෙන්, අවශ්‍ය කමිටු පත් කරමින් අදාළ පනත පිළිබඳ මූලික සාකච්ඡා මෙම සතිය තුළම ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මීට අමතරව, විෂයභාර පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්, ආදිවාසී ජනතාවට එදිනෙදා ජීවිතයේදී බලපාන ප්‍රධාන ගැටලු වන වනාන්තරයට ඇතුළු වීමට අවසර ලබාදීම, ආදිවාසී වැදි ජනතාව නිල වශයෙන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා නිත්‍යානුකූල හැඳුනුම්පතක් ලබාදීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයකට මේ වන විටත් අත්සන් තබා අවසන් කර ඇති අතර එමඟින් ආදිවාසී වැදි ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම අනන්‍ය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමටත්, ඔවුන්ගේ දෛනික ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් මඟපෑදෙනු ඇති බවද ඇය අවධාරණය කළාය.
රජයක් ලෙස, ආදිවාසී වැදි ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, තිරසර ජීවනෝපාය මාර්ග, අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමටත් කැප වන අතරම, ඔවුන්ගේ පාරම්පරික භූමි අයිතිය සහ සංස්කෘතික ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට වත්මන් රජය සම්පූර්ණයෙන්ම බැඳී සිටින බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>




