ශ්‍රී ලංකාවේ ඇතැම් රිය අනතුරු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී ඒවාට සම්බන්ධ රියදුරන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන ලදී.

ඒ අනුව රියදුරන් සහ රිය සහායකයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පරීක්ෂා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකය විසින් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

එම පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ජංගම පරීක්ෂණ බස් රථයක් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

මෙම ජංගම පරීක්ෂණ බස් රථය සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාගයක් ලෙස ලැබුණු එකක් බවත්, මීට පෙර දිස්ත්‍රික්ක කිහිපයක විවිධ පරීක්ෂණ කටයුතු සඳහා එය භාවිත කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

රියදුරන් සහ රිය සහායකයන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පරීක්ෂා කිරීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් බව සඳහන් කළ අමාත්‍යවරයා, ජංගම පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීමත් සමඟ එම පරීක්ෂණ වඩාත් විධිමත්ව සිදු කිරීමට හැකිවනු ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>