රොනී ද මැල් සිය පළමු අයවැය කතාවට පැය පහහමාරක් ගත්තේය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අයවැයක් ඉදිරිපත් කළේ සිය උපන් දිනයේදීය. කතාව අතරමැද මන්ත්‍රීවරුන් තේ පැන් සංග්‍රහයකට එක් වූ කාලයක් ද තිබිණි. 2027 අයවැය හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී, මේ ශ්‍රී ලංකාවේ අයවැය ඉතිහාසයෙන් සිදුවීම් සහ සම්ප්‍රදායන් කිහිපයකි.

රිබන් පටියෙන් සංකේතවත් කළ රහස

අයවැය කතාව ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා රිබන් පටියකින් බැඳි ලිපි බෑගයක් රැගෙන සභා ගර්භයට පැමිණීම පාර්ලිමේන්තු සම්ප්‍රදායකි. පාර්ලිමේන්තුවේ නිල විස්තරයට අනුව, එම රිබන් පටියෙන් සංකේතවත් කෙරෙන්නේ සභාවට ඉදිරිපත් කරන තෙක් අයවැය යෝජනාවල රහස්‍යභාවය රැකීමයි.

පළමු පාර්ලිමේන්තුවේ මුදල් ඇමති ජේ. ආර්.

මෙරට පළමු පාර්ලිමේන්තුව 1947 ඔක්තෝබර් 14 වැනිදා රැස් වූ විට මුදල් අමාත්‍ය ධුරය දැරුවේ පසු කලෙක ජනාධිපති ධුරයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන මහතාය. මුදල් අමාත්‍යාංශයේ අයවැය ලේඛනාගාරය අනුව, ඔහු එම වසරේ අයවැය කතාව ඉදිරිපත් කළේ දෙසැම්බර් 1 වැනිදාය.

පළමු සිංහල අයවැය කතාව

පාර්ලිමේන්තුවේ පළමු සිංහල අයවැය කතාව ඉදිරිපත් කළේ ටී. බී. ඉලංගරත්න මහතා බව අයවැය සම්ප්‍රදායන් පිළිබඳ Daily Mirror විශේෂාංගයක සඳහන් වේ. ඒ 1963 අගෝස්තු 1 වැනිදාය. එම කතාව සකස් කිරීමේදී ඉංග්‍රීසි ආර්ථික යෙදුම් සඳහා ගැළපෙන සිංහල වචන සොයා ගැනීමට ඔහු විශේෂ පරිශ්‍රමයක් දැරූ බවද එහි දැක්වේ.

උපන් දිනයේ අයවැයක්, පැය පහහමාරක කතාවක්

ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා 1975 නොවැම්බර් 5 වැනිදා අයවැය කතාව ඉදිරිපත් කළේ සිය 45 වැනි උපන් දිනයේදීය. ඉන් වසර දෙකකට පසු, 1977 නොවැම්බර් 15 වැනිදා රොනී ද මැල් මහතා සිය පළමු අයවැය කතාව ඉදිරිපත් කළේය. එය පැය පහහමාරක් පමණ පැවති බවත්, මෙරට දීර්ඝතම අයවැය කතාව ලෙස සැලකෙන බවත් Daily Mirror විශේෂාංගය සඳහන් කරයි.

අයවැය කතාව අතරමැද තේ පැන් සංග්‍රහයක්

අතීතයේදී අයවැය කතාව අතරතුර සභාව තාවකාලිකව කල් තබා මුදල් අමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ට තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ බවද එම විශේෂාංගයේ දැක්වේ. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට එක් වූහ. කථානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් වෙනම මේසයක් වෙන් කර තිබිණි. තේ විවේකයෙන් පසු සභාව යළි රැස් වූ විට මුදල් අමාත්‍යවරයා අයවැය කතාවේ ඉතිරි කොටස ඉදිරිපත් කළේය.