විවිධ රටවල සැඟව සිටිමින් පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවට චෝදනා ලැබූ සැකකරුවන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් ඔස්සේ මෙරටට ගෙන්වා ගනිමින් අපරාධ මර්දනය කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විදේශ රටවල සැඟව සිටින පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් සතිපතා එක් අයකු හෝ දෙදෙනකු බැගින් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවය. එය ඉබේ සිදුවන්නක් නොව සැලසුම්සහගත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමේ ප්‍රතිඵලයක් බවද ඔහු සඳහන් කළේය.

දින දෙකකට පමණ පෙර රුසියාවේ සිට ‘රොටුඹ අමිල’ නමැත්තා මෙරටට රැගෙන ඒමද එම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් බව විජිත හේරත් මහතා කීවේය. අපරාධ ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා ගනු ලබන මෙම පියවර සහ ජාත්‍යන්තර සහයෝගීතාව මඟින් රටේ ආරක්ෂාව තහවුරු කරමින් එහි ප්‍රතිලාභ මහජනතාවට හිමි වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.