දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ මෙරට මහා මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් යථාවත් කිරීම සඳහා කඩිනම් තාවකාලික පියවර ගන්නා අතරම, තාක්ෂණික හා ප්‍රසම්පාදන ක්‍රියාවලීන්ට අනුකූලව ස්ථිර ඉදිකිරීම් ක්‍රමිකව සිදු කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේදී මතු වූ අතිරේක ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ප්‍රවාහන ජාලය ඇණහිටීම සහ සැපයුම් දාමය බිඳ වැටීම වළක්වා ගනිමින් මහජන හා භාණ්ඩ ප්‍රවාහනය පවත්වාගෙන යාමට මුල් අදියරේදී බේලි පාලම් වැනි තාවකාලික ඉදිකිරීම් සිදු කළ බවය. සුළි කුණාටුවෙන් පසු රඹුක්කන දක්වා දුම්රිය ධාවනය යථාවත් කිරීමට තාවකාලික පියවර ගෙන රඹුක්කන සහ පොල්ගහවෙල දක්වා දුම්රිය මාර්ගය යාවත්කාලීන කළ බවද ඔහු පෙන්වා දුන්නේය.
දුම්රිය පාලම් ඇතුළු ඉදිකිරීම්වල තාක්ෂණික සැලසුම් සකස් කිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) පළපුරුදු පාලම් සැලසුම් අංශයේ තාක්ෂණික දායකත්වය ලබා ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. සමීක්ෂණ, සැලසුම්කරණය, ටෙන්ඩර් කැඳවීම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්පූර්ණ කර ඉදිකිරීම් සිදු කිරීමට නිශ්චිත කාලයක් ගත වන බව පෙන්වා දුන් ඔහු, මේ වන විට පාලම් කිහිපයක වැඩ නිම කර ඇති බවත්, තවත් පාලම් කිහිපයක ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත්, ඇතැම් ව්‍යාපෘති ප්‍රසම්පාදන සහ ටෙන්ඩර් ප්‍රදාන අදියරවල පවතින බවත් සඳහන් කළේය.
එසේම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRI) තාක්ෂණය යටතේ ස්ථාපිත කළ යුතු ස්ථාන 25ක් අතරින් එක් ස්ථානයක් පසුකාලීන වර්ෂාපතනය හේතුවෙන් නාය යාමකට ලක්වීම නිසා එම කොටසේ දුම්රිය ධාවනයට තාවකාලික බාධාවක් එල්ල වී ඇති බවද ඔහු පැහැදිලි කළේය. කෙසේ වෙතත් සති දෙකක් ඇතුළත එම තත්ත්වය යථාවත් කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ මඟින් සම්පූර්ණ සම්බන්ධතාව නැවත ලබා දීමට හැකි වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.





