ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 18.5ක (ලක්ෂ 185ක) වියදමින් නවීකරණය කළ බලංගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි පද්ධතිය ජනතා අයිතියට පත් කර තිබේ.
බලංගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාරගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, එහි පූර්ණ අධීක්ෂණ කටයුතු බලංගොඩ නගර සභාව විසින් සිදු කර ඇත.
බලංගොඩ නගරයට පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවට වඩාත් පිරිසිදු සහ සුවපහසු සනීපාරක්ෂක පහසුකමක් සැලසීම මෙහි අරමුණ වී තිබේ. එම පහසුකම් ආබාධ සහිත පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන්ට ද පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට සකස් කර ඇත.
වැසිකිළි පද්ධතිය සඳහා පූර්ණ ආලෝක පද්ධතියක් සවිකර ඇති අතර, අවට ප්‍රදේශය විසිතුරු පැළ යොදා අලංකාර කර තිබේ.
මීට අමතරව, අපජලය පිරිපහදු කර බැහැර කළ හැකි විශේෂ ගලි පද්ධතියක් ද මෙහි සකස් කර ඇත. ඒ හරහා බලංගොඩ නගර සභාව මෙතෙක් ගලි සේවා සඳහා දැරූ වියදම 60%කින් අඩු කර ගැනීමට හැකි වන බව සඳහන් වේ.


