දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා ආනයනික සීනි මත පැනවූ රුපියල් 10ක විශේෂ බද්ද හැරෙන්නට වත්මන් රජය අලුතින් වෙනත් කිසිදු බද්දක් පනවා ඇත්නම් එය පෙන්වා දෙන ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විපක්ෂයට අභියෝග කළේය. ජාතික ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දේශීය සීනි සඳහා එකතු කළ අගය මත වන බද්ද (VAT) අදාළ වුවද ආනයනික සීනි සඳහා එම බද්ද ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ විෂමතාවක් ඇති වූ බව ඔහු පෙන්වා දුන්නේය. එම අසමතුලිතතාව නිවැරදි කරමින් දේශීය සීනි කර්මාන්තය රැක ගැනීමට ආනයනික සීනි මත රුපියල් 10ක විශේෂ බද්දක් පැනවීමට සිදු වූ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මෙවර අයවැය ලෝක ප්‍රජාවගේ සහ ජාත්‍යන්තර සංවිධානවල ඇගයීමට ලක් වූ වැඩපිළිවෙළක් බව සඳහන් කළ වසන්ත සමරසිංහ මහතා, රජයේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හමුවේ විපක්ෂය දේශපාලනිකව අතරමං වී ඇතැයි උපහාසාත්මකව කීවේය.
කාර්යාල කාර්ය සහායකයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගත් බවත්, මෙය අවසන් වැටුප් හෝ දීමනා වැඩිවීම නොවන බවත් ඔහු සඳහන් කළේය. රජය බලයට පත්ව ගත වූ වසර දෙක තුළ ඉදිරිපත් කළ තුන්වන අයවැය මෙය බවද අමාත්‍යවරයා පැවසීය.
මහා භාණ්ඩාගාරයේ ඉතිරි කරගත් මහජන මුදල් සහන ලෙස ජනතාවට ලබා දෙන බව කී ඔහු, පසුගිය නොවැම්බර් මාසයේ සිට රුපියල් මිලියන 800ක පාඩුවක් දරමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,400කට ආසන්නව පවත්වාගෙන යන බවද සඳහන් කළේය. ඉන්ධන, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, මාර්ග සංවර්ධනය, වතු කම්කරු වැටුප් සහ ‘අස්වැසුම’ සුබසාධක දීමනා හරහාද ජනතාවට සහන සලසා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



