පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීම යම් සීමාවකට ලක්කර ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නොදැමීම හේතුවෙන් පෞද්ගලික සමාගම් පාඩු ලබන තත්ත්වයක් මතුව ඇති බවය.

එම සමාගම් විසින් මිල සංශෝධනයක් ඉල්ලා සිටියද, එය සිදු කිරීමට නොහැකි බැවින් ඉදිරි මාස තුන සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පෞද්ගලික සමාගම් තවදුරටත් පාඩු ලබන බැවින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බවත්, එම සමාගම්වලට එක් එක් ඉන්ධන පිරවුම්හල සඳහා නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කරන ලෙස නියෝග කිරීමට අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ තත්ත්වය සමනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් වෙළෙඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය වැඩි කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>