ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා පවසන්නේ, ජූලි 2 වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 5,868 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඔහු සඳහන් කළේ රෝගීන්ගෙන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, පසුගිය පැය 24 තුළ පමණක් නව රෝගීන් 1,200කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.

සමස්ත රෝගී තත්ත්වය ස්ථාවර මට්ටමක පැවතියද, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ඔහු පැවසීය.

ඒ අනුව එම ප්‍රදේශවල ඩෙංගු මර්දන සහ මදුරු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, අවදානම අඩු ප්‍රදේශවල නිලධාරීන් සහ උපකරණ ද එම දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇති බවද වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතර, කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එවැනි තීරණ අදාළ ආයතන ප්‍රධානීන් විසින් එම පරිශ්‍රයේ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ස්වාධීනව ගනු ලබන තීරණ බවයි.