ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී දැනට බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝග, එම ගැටලුවලට කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මීට අමතරව, පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කර ඇති අතර, එවැනි සිදුවීම් යළි ඇති නොවන පරිදි ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක සහ පරිපාලන ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු වී ඇත.

බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය, ඔවුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු සහ සුබසාධන අවශ්‍යතා පිළිබඳව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී අදහස් දැක්වූ බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ, තම සේවා ගැටලු ජනාධිපතිවරයෙකු වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවත්, එවැනි අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කරන බවත්ය.

මෙම සාකච්ඡාව සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.