කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ විශාල ව්‍යාපෘතිය අද (අප්‍රේල් 09) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය යටතේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරමින් නවාතැන්, විවේකාගාර, භෝජනාගාර, තොරතුරු මධ්‍යස්ථානය සහ තැපැල් සේවා මධ්‍යස්ථානය ඇතුළු පහසුකම් ලබාදීමට නියමිතය.

දුම්රිය වේදිකාවන්ට ප්‍රවේශ විය හැකි අලුත් ගුවන් පාලම් පද්ධතියක් සහ E-Gate තාක්ෂණය හඳුන්වා දීමත්, මගී රථවාහන අංගනයක් ඉදි කිරීමත් මෙම ව්‍යාපෘතියේ අංගයන් අතරට අයත් වේ.

මාස 15 ක කාලයක් ඇතුළත නිම කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2,162 ක් වැය වන අතර, එයින් රුපියල් මිලියන 1,500 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ආධාර ලෙස ලබා ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසන ලදී.