ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා අතර විශේෂ හමුවක් පසුගිය 18 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් රූත් බයිඩ් මහත්මිය සහ මහකොමසාරිස් කාර්යාලයේ තවත් නිලධාරීන් දෙදෙනෙකු ද එක්ව සිටියහ.
හමුවේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතා පිළිබඳව මෙන්ම, ඕස්ට්‍රේලියාවේ ජීවත්වන විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවගේ කාර්යභාරය සහ දෙරට අතර පවතින ජනතා සබඳතා පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබේ.
තවද, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා සංවර්ධන ක්ෂේත්රවල පවතින සහයෝගීතා වැඩසටහන් සහ ඉදිරි සහයෝගීතා අවස්ථා සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
මෙහිදී අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රජයේ දීර්ඝකාලීන අරමුණු සමඟ ගැළපෙන අයුරින් දෙරට අතර සහයෝගීතාව සහ හවුල්කාරීත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.
එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය ධනාත්මක ප්රවේශයකින් පසුවන බව ද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වූ අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු රජය සහ එරට ජනතාව ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ ටිල්වින් සිල්වා මහතා, ඒ සඳහා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සිදුකළ මැදිහත්වීම ද විශේෂයෙන් අගය කළේය.





