දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අත්හිටුවා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (02) සිට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා යළි ආරම්භ කෙරුණි.
ඒ අනුව, ඊයේ දක්වා රඹුක්කන දක්වා පමණක් ධාවනය වූ දුම්රිය අද සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අද පෙරවරු 5.55ට කොළඹ කොටුවෙන් පොඩි මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කර ඇති අතර, එය අද මගී ප්‍රවාහනය සඳහා නොව පරීක්ෂණ දුම්රියක් ලෙස ධාවනය කෙරිණි.
රඹුක්කන දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු අමාත්‍යාංශ හා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ ඉංජිනේරුවන් සහ සේවකයන් ද පරීක්ෂණ දුම්රියට එක් වි තිබේ.
පරීක්ෂණ දුම්රිය පේරාදෙණියට ළඟාවීමෙන් අනතුරුව විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබූ බවද වැඩිදුරටත් සඳහන් වේ.





