රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජය දුර්වල තත්ත්වයක පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කළේ රාජ්‍ය ආයතන රැසක පාඩු පවතින අතර, සේවා සැපයීමට අවශ්‍ය පහසුකම් සහ වාහන ඇතුළු භෞතික සම්පත් ප්‍රමාණවත් ලෙස සංවර්ධනය වී නොමැති බවය.
එමෙන්ම අදාළ සේවා සැපයීමට ප්‍රමාණවත් මානව සම්පත්ද නොමැති බව ඔහු පැවසීය.

එබැවින් වෘත්තීය සමිතිවලට ඇති ප්‍රධාන අභියෝගයක් විය යුත්තේ හොඳ රාජ්‍ය සේවයක් ගොඩනැගීමට කැපවීම බවද ලාල් කාන්ත මහතා සඳහන් කළේය.

ඔහු පැවසූයේ බස් රථයකට ගොඩවන පුද්ගලයෙකුට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය දැනෙන ආකාරයේ සේවාවක් ලබාදිය යුතු බවත්, රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳව වටිනාකමක් ඇතිවන පරිදි ආයතන සංවර්ධනය කළ යුතු බවත්ය.

නවීන හා මානව හිතවාදී ආකල්ප සහිතව ජනතාවට ගරු කරමින් සේවය කරන, වෘත්තීයමය රාජ්‍ය ආයතන ගොඩනැගීම අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>