Rebuilding Sri Lanka වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අඛණ්ඩව ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්ච් ( Marc-Andre Franche) මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

අන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා මේ බව සඳහන් කරන ලද්දේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සමග ඊයේ (23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති හමුවකදීය.

ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත පිලිප් වෝර්ඩ්(Philip Ward) මහතා, උප නියෝජිත රොබර්ට් ඔලිවර් (Robert Oliver) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එකව සිටියහ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම , ආපදාවට ලක්වූ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් දැක්වූ සහය මෙන්ම, පශ්චාත් ආපදා කළමනාකරණයට හා ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබාදෙන සහය වෙනුවෙන්ද අමාත්‍ය උපාලි පන්නිල මහතා සිය ස්තූතිය පුද කළේය.

එහිදී අදහස් දක්වමින් අන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා සඳහන් කරන ලද්දේ Rebuilding Sri Lanka වැඩසටහන සඳහා තම සංවිධානයේ සහය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවත්, විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පොදු දේපළ යථා තත්වයට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත්ය.

පශ්චාත් ආපදා කළමනාකරණය, විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම පිළිබඳවද එහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.