ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නව මාවතකට යොමු කරමින්, 2030 වන විට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වාත්, අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් QR ක්‍රමවේදය හරහා සහනාධාර තේ පොහොර බෙදාහැරීමේ වැඩසටහනට මාස 6ක කෙටි කාලයක් තුළ දැවැන්ත ප්‍රගතියක් ලැබී ඇත.
පැවති ක්‍රමය යටතේ පොහොර බෙදාහැරීමේදී ගොවීන්ට බාධා ඇතිවූ අතර, නව QR ක්‍රමය තුළ දළු අස්වැන්න පදනම් කරගෙන සහනාධාරය නියම කිරීමත්, පොහොර සංස්ථාවට පමණක් සීමා නොව අනුමත සමාගම් හරහාද බෙදාහැරීම සිදු කිරීමත් මගින් කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන්ට කඩිනම් සහ විධිමත් සේවාවක් ලබා දීමට හැකිවිය.
2024/2025 වර්ෂය තුළ සහනාධාර පොහොර ලබාගත් ගොවීන් 84,472ක් පමණක් වූ අතර, නව QR ක්‍රමය යටතේ මාස 6 තුළ ගොවීන් 187,759 දෙනෙකුට පොහොර ලබා දී තිබේ. මෙය පෙර වසරට සාපේක්ෂව 122.3% ක වර්ධනයක් ලෙස සටහන් වේ. මාර්තු මස අවසානයේදී මෙට්‍රික් ටොන් 21,117.7 ක පොහොර බෙදාහැරීමෙන්, පෙර වසරට සාපේක්ෂව 62.2% කින් ඉහළ ප්‍රගතියක් ලැබී ඇත.
රජය විසින් කි.ග්‍රෑම් 50 පොහොර මිටියකට රු. 4000 සහ කි.ග්‍රෑම් 25 මිටියකට රු. 2000 ක සහනාධාරය QR ක්‍රමය හරහා ලබා දෙන අතර, මේ වන විට මිටි 334,256ක් සහ 176,199ක් ගොවීන් අතට පත් කර ඇත.
අමතරව, මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂ සහනාධාරයක් ලෙස කි.ග්‍රෑම් 50 පොහොර මිටියකට රු. 5,000ක අමතර සහනාධාරයක් ලබා දීමටත්, එය QR ක්‍රමය හරහා වසර අවසානයට පෙර බෙදාහැරීමටත් රජය තීරණය කර ඇත.
මෙම නව QR ක්‍රමය කුඩා හා මධ්‍ය පරිමාණ තේ වගාකරුවන්ගේ අදහස් අනුව වඩා පහසු සහ ක්‍රමවත් සේවාවක් බවට පත්ව ඇති අතර, තේ කර්මාන්තයේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.





