ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් අයථා ලෙස මුදල් උපයමින් එම මුදල් විදේශ රටවල්වල පිහිටි අක්වෙරළ සමාගම් හරහා විසුද්ධිකරණය කිරීමට ක්‍රියාකල ලොවපුරා දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් ඇතුලු විශාල පිරිසකගේ තොරතුරු රැසක් පැය කිහිපයකට පෙර ලෝකය වෙත මුදාහැරීමට අන්තර්ජාතික ගවේශණශීලී මාධ්‍යවේදීන්ගේ එකමුතුව (International Consortium of Investigative Journalists – ICIJ) කටයුතු කලා.

ටෙරාබයිට් 2.94ක විශාලත්වයකින් යුතු මෙම දත්ත වල ලිපිගොනු මිලියන 11.9 අඩංගු බවයි බී.බී.සී ලෝක සේවය වාර්තා කලේ.

The Pandora Papers leak includes 6.4 million documents, almost three million images, more than a million emails and almost half-a-million spreadsheets. (Image BBC)

මෙම මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව දැනට හෙළිදරව් වී ඇති ලිපිලේඛන වල මෙරට පාලක පවුල හෙවත් රාජපක්ෂ පවුලේ සමාජිකයෙකුගේ නම අන්තර්ගත වී තිබීම විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරියක වන නිරුපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් නමැත්තා විසින් විදේශ රටක සමාගමක් පිහිටුවා ඒ හරහා ලන්ඩනයේ සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි යන නගර වල සුඛෝපභෝගී නිවාස දෙකක් මිළදී ගෙන ඇති බව මෙම හෙළිදරව්වෙන් අනාවරණය කර තිබේ. ඔවුන් විසින් සිංගප්පූරුවේ පිහිටි සමාගමක් හරහා මෙම කටයුතු වල නිරත වී තිබේ.

මෙම වත්කම් සම්බන්ධයෙන් තොරතුරු පළකිරීමට පෙර (International Consortium of Investigative Journalists – ICIJ) විසින් නිරුපමා රාජපක්ෂ මහත්මියගෙන් සහ ඇයගේ සැමියාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකර ඇතත් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කල බවයි එම වෙබ් අඩවිය වාර්තා කලේ.

In confidential emails to Asiaciti Trust, a Singapore-based offshore services provider, a longtime adviser of Nadesan’s put his overall wealth, as of 2011, at more than $160 million. ICIJ couldn’t independently verify the figure. (Image – ICIJ)

මේ වනවිට මෙම හෙළිදරව්ව නිසා ලෝකයේ රටවල් රැසක නායකයින් සහ ව්‍යාපාරිකයින් අනිසි ආකාරවලින් උපයා ඇති ධනය හරහා අත්පත්කරගෙන ඇති දේපළ සම්බන්ධයෙන් ලොව පුරා ජනතාව අතර සංවාදයක් නිර්මාණය වී තිබේ.

ලෝකය පුරා විවිධ රටවල මෙවැනි දේශපාලන සහ ව්‍යාපාරික කණ්ඩායම් විසින් ඩොලර් ට්‍රිලියන 32කට වැඩි මුදලක් එම රටට අයත් නොවන වෙනත් රටවල ගිණුම් පවත්වාගෙන යාම හරහා වංචා කර ඇති බවත්, මෙමඟින් ඩොලර් බිලියන 600කට අධික මුදලක් ආදායම් බදු වශයෙන් රාජ්‍යයන්ට අහිමි වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බවත් බී.බී.සී ලෝක සේවය අනාවරණය කර ඇත.

මේ අතර ටුවිටර් පණිවිඩයක් නිකුත් කරන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්ව තමන් පිළිගන්නා බවත්, එහි නම් සඳහන් පාකිස්තානුවන් සම්බන්ධයෙන් සිය රජය විශේෂ විමර්ශණයක් ආරම්භ කරන බවත් ජනතාවට පොරොන්දු වී තිබේ.