HIV ආසාදනය වැළැක්වීම සඳහා නිපදවූ ලෙනකපාවිර් (Lenacapavir) ඖෂධයේ අඩු වියදම් පළමු ගෝලීය තොගය නොවැම්බර් 25 වැනිදා සැම්බියාවට ළඟා වූ බවත්, ඉදිරි දින කිහිපය තුළ උගන්ඩාවට එම තොග ලැබෙනු ඇති බවත් ගෝලීය අරමුදල (Global Fund) නිවේදනය කළේය. 2027 වසරේ මුල් භාගයේදී සිම්බාබ්වේ රාජ්‍යයටද, ඉන් අනතුරුව දකුණු අප්‍රිකාව ඇතුළු තවත් රටවල් කිහිපයකටද මෙම එන්නත් බෙදා හැරීමට සැලසුම් කර තිබේ.

වසරකට දෙවරක් එන්නතක් ලෙස ලබා දෙන මෙම ඖෂධය HIV ආසාදනය වැළැක්වීම සඳහා සියයට 100කට ආසන්න සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව සඳහන් වේ. මෙම අඩු වියදම් එන්නත සඳහා පුද්ගලයෙකුට වසරකට වැය වන්නේ අමෙරිකානු ඩොලර් 40ක් පමණි. අමෙරිකානු ඖෂධ සමාගමක් වන ගිලියඩ් සයන්සස් (Gilead Sciences) නිපදවූ මුල් ඖෂධය අමෙරිකාව තුළ වසරකට ඩොලර් 28,000ක් පමණ වූ බැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට එය දැරිය නොහැකි මට්ටමක පැවතුණි.

HIV වෛරසයේ ආරක්ෂිත ප්‍රෝටීන් කවචය ඉලක්ක කර ගනිමින් වෛරසය ගුණනය වීම සහ ශරීරය තුළ ආසාදනයක් ඇති කිරීම මෙම එන්නත මඟින් අඩපණ කරයි. 2024 වසරේදී උගන්ඩාවේ සහ දකුණු අප්‍රිකාවේ නව යොවුන් වියේ ගැහැණු ළමුන් සහ තරුණ කාන්තාවන් 5,000කට අධික පිරිසක් යොදාගෙන කළ සායනික පරීක්ෂණයකදී මෙම එන්නත ලබා ගත් කිසිවෙකුට HIV ආසාදනය නොවූ බව තහවුරු විය. දිනපතා ලබා ගත යුතු නිවාරණ පෙතිවලට (PrEP) වඩා මෙම එන්නත විශාල වාසියක් සලසන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයද 2025 ජූලි මාසයේදී මෙම ඖෂධය නිර්දේශ කළේය.

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ජනතාවට ඉතා ඵලදායී, ගුණාත්මක බවින් තහවුරු කළ HIV නිවාරණ ඖෂධ ලබා ගැනීමේ අවස්ථාව පෙර නොවූ විරූ ලෙස වේගවත් කිරීමක් සහ පුළුල් කිරීමක් මෙම බෙදාහැරීම් මඟින් සනිටුහන් කරන බව ගෝලීය අරමුදල පවසයි. මේ වන විටත් රටවල් 10ක පුද්ගලයින් 189,000කට අධික පිරිසක් මෙම එන්නත ලබාගෙන ඇති අතර, 2026 වසර අවසන් වන විට රටවල් 24කට සහ අමෙරිකානු රජය සමඟ එක්ව 2028 අවසන් වන විට අවම වශයෙන් පුද්ගලයින් මිලියන තුනකට එය ලබා දීමට සැලසුම් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 2025 වසරේදී ලොව පුරා මිලියන 41ක් පමණ HIV සමඟ ජීවත් වූ අතර 570,000ක් HIV ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මිය ගොස් ඇත. අමෙරිකානු විදේශ ආධාර කප්පාදු කිරීම් හේතුවෙන් අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන්වලට බාධා එල්ල විය හැකි බවට පවතින කනස්සල්ල මධ්‍යයේ හඳුන්වා දෙන මෙම එන්නත, අවසානයේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් 120කට ලබා දීමටත්, 2030 වන විට ඒඩ්ස් රෝගය මහජන සෞඛ්‍ය තර්ජනයක් ලෙස තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ ඉලක්කයට සහාය වීමටත් අපේක්ෂා කෙරේ.