දකුණු අප්‍රිකාවේ ‘ට්‍රාන්ස්නෙට් ෆ්‍රේට් රේල්’ (Transnet Freight Rail – TFR) ආයතනය කිලෝමීටර 7.6ක දිගින් යුත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සාර්ථකව පරීක්ෂාවට ලක් කර ඇති බව සඳහන් වේ. සාල්ඩානා (Saldanha) සිට ඔක්තෝබර් 17 වැනිදා ගමන් ආරම්භ කළ මෙම දුම්රිය වැගන් 696කින් සමන්විත වූ බව වාර්තා වේ.

රටේ යපස් අපනයන මාර්ගය ඔස්සේ කිලෝමීටර 782ක දුරක් ගමන් කළ එම දුම්රිය, පසුදින උතුරු කේප් ප්‍රාන්තයේ පිහිටි පතල් වෙත ළඟා වී තිබේ. මීට වසර 25කට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ ‘BHP Iron Ore’ සමාගම පිහිටුවා තිබූ කිලෝමීටර 7.35ක වාර්තාව මෙමඟින් අභිබවා යන බව TFR ආයතනය පවසයි. කෙසේ වුවද, ගිනස් ලෝක වාර්තා (Guinness World Records) ආයතනයේ නිල අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ ලිපි ලේඛන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද එම ආයතනය සඳහන් කර ඇත.

සාමාන්‍යයෙන් මෙම මාර්ගයේ ධාවනය වන සම්මත දුම්රියක වැගන් 348ක් ඇති අතර, මෙම විශේෂ පරීක්ෂාව සඳහා වැගන් 232 බැගින් වූ කොටස් තුනක් යොදාගෙන තිබේ. කිසිදු භාණ්ඩයක් පටවා නොමැතිව වුවද දුම්රියේ බර ටොන් 15,830ක් වූ බව සඳහන් වේ.

දුම්රියේ ඉදිරිපස සහ මැද කොටස්වල විදුලි සහ ඩීසල්-විදුලි එන්ජින් 12ක් රැහැන් රහිත පාලන තාක්ෂණය (Radio Distributed Power) ඔස්සේ සම්බන්ධ කරමින් පාලන සහ තිරිංග පද්ධති ක්‍රියාත්මක කර ඇත. මෙම අත්හදා බැලීමෙන් ලැබෙන තාක්ෂණික දැනුම සහ මෙහෙයුම් ප්‍රතිපත්ති ඉදිරියේදී දුම්රිය ප්‍රවාහන ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව TFR ප්‍රධාන විධායක නිලධාරී රසල් බාට්ජීස් ප්‍රකාශ කර තිබේ.