ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ (15) රාත්‍රී 11.30 වන විට අදාළ කාලගුණ පද්ධතිය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක පමණ ඊසාන දෙසින් ස්ථානගතව තිබී ඇත.මෙම පද්ධතිය ඉදිරියටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් අද (16) සවස් කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තවදුරටත් තීව්‍ර වන මෙම කුණාටුව නොවැම්බර් 17 වන දින වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමේ දැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ අංශ පෙන්වා දෙයි.

මේ අතර, මෙම කාලගුණ තත්ත්වයත් සමඟ දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ මද අඩුවීමක් අද (16) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකිය.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින අතර, අලුයම් කාලයේදී බොහෝ ප්‍රදේශවල මීදුම් සහිත ස්වභාවයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.