ඉහළ යන ජීවන වියදම, අඩු වැටුප් සහ රජයේ ප්‍රතිපත්තිවලට දැඩි විරෝධය පළ කරමින් ප්‍රංශය පුරා පැවැත්වෙන මහජන විරෝධතා රැල්ලට එක්වූ පිරිස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. අල් ජසීරා ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ‘Yellow Vest’ හෙවත් කහ කබා ව්‍යාපාරයේ සාමාජිකයින් සහ විවිධ තරුණ මෙන්ම ශිෂ්‍ය සංගම් මෙම විරෝධතා සඳහා පුළුල් ලෙස එක්ව සිටියහ.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව රට පුරා විරෝධතා සඳහා 106,000ක පිරිසක් සහභාගී වී ඇති අතර, පැරිස් අගනුවර පමණක් එක්වූ පිරිස 24,000කි. කෙසේ වෙතත්, ශිෂ්‍ය සංගම් පෙන්වා දෙන්නේ සමස්ත සහභාගීත්වය 200,000කට අධික වන අතර පැරිස් නුවර පමණක් ලක්ෂයකට ආසන්න පිරිසක් වීදි බැස සිටි බවයි.
අධ්‍යාපන ප්‍රමිතිය පහළ යාම, ජීවන වියදම ඉපැහීම, අඩු වැටුප් මෙන්ම පොලිස් ක්‍රියාමාර්ග මෙම නොසන්සුන්තාවන්ට මුල් වී ඇති අතර, විරෝධතාකරුවන් ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ පාලනයට එරෙහිව ද දැඩි ස්ථාවරයක පිහිටා සටන් පාඨ ප්‍රකාශ කර ඇත.
බොහෝ ප්‍රදේශවල විරෝධතා සාමකාමීව පැවැතී තිබුණ ද, මාර්සෙයිල් සහ ලියොන් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් ගැටුම් හටගෙන තිබේ. ඇතැම් නගරවල තහවුරු කළ සීමා උල්ලංඝනය කරමින් පැවැති විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිත කර ඇති අතර, ගිනි තැබීම් කිහිපයක් ද වාර්තා වී ඇත.
මීට පෙර රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සියයට 0.6ක අවම වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවන බව පවසමින් වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර ඇති බැවින්, එළඹෙන අඟහරුවාදා (17) දින තවත් දැවැන්ත වැඩවර්ජන සහ විරෝධතා දිනයක් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ.

