තමන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවත්, යළි කිසිදා දේශපාලන ජීවිතයට හෝ දේශපාලන ක්‍රියාකාරකම්වලට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බවත් හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු මෙම බව සඳහන් කර තිබේ.
අභාවප්‍රාප්ත සිය පියාණන්ගේ 84 වැනි ජන්ම දිනය සිහිපත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, පියාගේ වියෝවෙන් පසු උදා වූ පළමු ජන්ම දිනය අද දින යෙදී ඇති බවත්, ඔහු සදාකාලිකවම තම හදවත් තුළ රැඳී සිටින බවත්ය. මීට වසර දෙකකට පෙර අද වැනි දිනක තමන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ බවත්, එහි ප්‍රතිඵලය තමන් අපේක්ෂා කළ දෙය නොවූවත් එය තම ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් සනිටුහන් කළ බවත් ඔහු පෙන්වා දී ඇත.
ඉන් මාසයකට පසුව තමන් දේශපාලනයට සහ සියලුම දේශපාලන ක්‍රියාකාරකම්වලට සමුදුන් බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.
දේශපාලනයේ නිරත වූ කාලය තුළ තමන්ට ලැබුණු අවස්ථාවන්, තමන් කෙරෙහි තැබූ විශ්වාසය මෙන්ම තමන් සමඟ කටයුතු කළ පිරිසගෙන් ලැබුණු මඟපෙන්වීම, නායකත්වය සහ දිරිගැන්වීම පිළිබඳව තමන් අවංකවම කෘතඥ වන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
දේශපාලනයෙන් ඉවත් වී පෞද්ගලික අංශය වෙත යොමු වී මේ වන විට මාස 23ක් ගත වී ඇති බව පෙන්වා දෙන ඔහු, අර්ධකාලීනව ආරම්භ කළ එම කටයුතු මේ වන විට තමන් ඉතා ආශාවෙන් සහ තෘප්තියකින් යුතුව නිරත වන පූර්ණ කාලීන වෘත්තියක් බවට පත්ව ඇති බව සඳහන් කරයි.
මෙම නව ගමන නිසා පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට, ශරීර සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට, සංචාරය කිරීමට මෙන්ම පෞද්ගලික නිදහස භුක්ති විඳීමට සහ විවිධ කර්මාන්ත හා ව්‍යාපාර පිළිබඳව අලුත් දේ ඉගෙන ගැනීමට තමන්ට අවස්ථාව උදා වී ඇති බව ද හිටපු අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහන මඟින් අවධාරණය කර ඇත.
