විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ. මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසු කාරක සභාව එම තීරණය ගත් බවත්, කාරක සභා සාමාජික මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා කෙටුම්පතට විරෝධය පළ කළ බවත් පාර්ලිමේන්තුව නොවැම්බර් 13 වැනිදා නිවේදනය කළේය.
ත්‍රස්ත ක්‍රියා සැලසුම් කිරීම, ඒ සඳහා සූදානම් වීම හෝ සහභාගි වීම මෙන්ම ත්‍රස්ත පුහුණුව ලබාදීම හෝ ලබාගැනීම ද යෝජිත නීතිය යටතේ වැරදි ලෙස දක්වා තිබේ. විදේශයකදී සිදු කරන අදාළ ක්‍රියාව එරට නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවලදී, කෙටුම්පතේ සඳහන් කොන්දේසි යටතේ ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාවට පැහැදිලි කළහ.
විදේශීය ත්‍රස්ත සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජන වැළැක්වීම හා මැඩපැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 2014දී සම්මත කළ අංක 2178 යෝජනාව ක්‍රියාත්මක කිරීම මෙම කෙටුම්පතේ අරමුණයි. ඔක්තෝබර් 20 වැනිදා පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කළ කෙටුම්පත නීතියක් වීමට ඉතිරි පාර්ලිමේන්තු ක්‍රියාවලිය සම්පූර්ණ විය යුතුය.





