දිවයිනට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලබන 16 වැනිදා පමණ වන විට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මෙම තත්ත්වය අපේක්ෂා කෙරෙන අතර, අදාළ පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතී. එය හෙට (15) වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙම අඩුපීඩන කලාපය අද (14) පෙරවරුව වන විට මඩකලපුව සිට කිලෝමීටර් 650ක පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබිණි.
මේ හේතුවෙන් අද පෙරවරු 05.30 සිට නැවත දැනුම් දෙනතුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැඩි ලෙස උපදෙස් දී තිබේ.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවලත්, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් කටයුතු කිරීමෙන් වළකින ලෙසත්, දැනට එම ප්‍රදේශවල යෙදී සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් දන්වා ඇත.
පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි පතිත විය හැකි අතර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
