රටේ සෑම දරුවෙකුටම සමාන පහසුකම් සහිත ප්‍රාථමික පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තහවුරු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව සඳාන් කරන ලද්දේ ප්‍රාථමික පාසල් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද පුත්තලම, මහකුඹුක්කඩවල කනිෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්ල ඊයේ(29) සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මහකුඹුක්කඩවල කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ මෙම නව ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 35කට ආසන්න මුදලක් වැය කර ඇති අතර, පාසලේ අනෙකුත් ප්‍රාථමික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තවත් රුපියල් මිලියන 11කට ආසන්න මුදලක් වැය කර ඇත.

නව ගොඩනැගිල්ල සුහුරු පුවරු, ක්‍රියාකාරකම් කාමර, කියවීම් කුටි සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය.

ප්‍රාථමික පාසල් නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ තෝරාගත් පාසල් 31ක් සංවර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ සැලසුම් සකස් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. මෙම ව්‍යාපෘතිය යටතේ රට පුරා පාසල් 309ක් සංවර්ධනය කිරීමට තෝරාගෙන තිබේ.

නගරයේ සහ ග්‍රාමීය පාසල් අතර පවතින පහසුකම් විෂමතා අවම කරමින්, සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම රජයේ අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.