කිංග්ස්බරි හෝටලයේ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, මහනුවර සිට විහාරමහාදේවී උද්‍යානය සහ කිංග්ස්බරි හෝටලය දක්වා වූ සිදුවීම් සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සජීවීව වාර්තා වූ බැවින් ඒවා සඟවා තැබීමක් සිදුව නොමැති බවය.

එම සිදුවීම් අතරතුර ජාතික රෝහල සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සිදුකළ ප්‍රකාශ පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, එම ප්‍රකාශ හේතුවෙන් මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ නොවැටෙන බව පැවසීය.

විහාරමහාදේවී උද්‍යානයේ සිදුවීමෙන් පසු උන්වහන්සේ ජාතික රෝහලට රැගෙන ගොස් පරීක්ෂා කළ බවත්, එහිදී අසනීපයක් හෝ ආබාධයක් හඳුනා නොගත් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, සිදුවීම් සම්බන්ධයෙන් වෙනත් න්‍යායපත්‍ර ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳ පැමිණිලි ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>