ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) නව පත්වීම් ලබාදීම අද (11) එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම හා සම්බන්ධ අමාත්‍ය ලාල් කාන්ත මහතා නව පත්වීම්ලාභීන් අමතමින් කියා සිටියේ රාජ්‍ය සේවයේ පවතින පැරණි සංස්කෘතියට යට නොවී නව වැඩ සංස්කෘතියක් ගොඩනැගීමට දායක වන ලෙසයි.

ඔහු සඳහන් කළේ අතීතයේ රාජ්‍ය සේවය යහපත් මට්ටමක පැවති නමුත් කාලයත් සමඟ දේශපාලන බලපෑම් සහ විවිධ අක්‍රමිකතා හේතුවෙන් එහි ස්වභාවය වෙනස් වී ඇති බවයි.

එමෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවයට එක්වන සියලුම නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ පැරණි දුර්වලතා අනුගමනය නොකර වගකීම් සහගත, ජනතා කේන්ද්‍රීය සේවා සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැපවන ලෙසයි.

අලුතෙන් බඳවාගන්නා රාජ්‍ය සේවකයින්ගේ දායකත්වය මත රාජ්‍ය සේවයේ අවශ්‍ය වෙනස්කම් ඇති කළ හැකි බවත්, ඒ සඳහා නව පරපුර පෙරමුණ ගත යුතු බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.