රුපියල් මිලියන 81ක වියදමින් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කනත්තගොඩ මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ අවස්ථාවට අද (13) එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ජනතාවගෙන් එකතු කරන සෑම බදු සතයකටම වත්මන් ආණ්ඩුව වගකියන බවයි.

රටේ ජනතාව බදු ගෙවීම තම යුතුකම ඉටු කරන අතර, එම බදු නිසි ලෙස එකතු කර ගැනීම ආණ්ඩුවක වගකීමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බදු ක්‍රමය සරල කිරීම, බදු ගෙවීම පහසු කිරීම සහ අවශ්‍ය පාර්ශ්වයන්ගෙන් නිසි ලෙස බදු එකතු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේදී රාජ්‍ය ආදායම සැලකිය යුතු මට්ටමකට ඉහළ නංවා ගැනීමට හැකි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, පසුගිය වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 5500ක් පමණ වූ අතර, ඉන් රුපියල් බිලියන 5000කට ආසන්න මුදලක් බදු ආදායම ලෙස එකතු කර ඇති බව අනාවරණය කළේය.

එමෙන්ම පෙර බදු නොගෙවූ ඇතැම් සමාගම්ද මේ වන විට බදු ගෙවීම ආරම්භ කර ඇති බවත්, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය තවත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදෙන බවත් ඔහු පැවසීය.

විනිවිදභාවය ඉහළ නැංවීම හරහා ජනතාවගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.