වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේදී වී ගොවීන් දැඩි අසාධාරණයකට ලක්ව සිටි බවත්, නිෂ්පාදන වියදමට සරිලන මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන්ට තම අස්වැන්න අඩු මිලට අලෙවි කිරීමට සිදුව තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ආණ්ඩුව භාරගන්නා විට වී කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 99.75ක් පමණ වූ නමුත් එම කාලයේදී රජය විසින් සහතික මිලක් නියම කර තිබුණද වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවයි.

එම හේතුවෙන් වී ගබඩා ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා තිබූ අතර, ගොවීන්ට තම අස්වැන්න ඉතා අඩු මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුව තිබූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ ගොවි සංවිධාන සමඟ එක්ව නිෂ්පාදන වියදම් යළි තක්සේරු කළ බවත්, එහිදී පෙර වාර්තා වූ වියදමට වඩා රුපියල් 10කට ආසන්න ප්‍රමාණයකින් නිෂ්පාදන වියදම අඩුවී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වෙළෙඳපොළේ මිල ගණන් සැමවිටම ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තාවකාලික මිල උච්චාවචනයන් පදනම් කරගෙන දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.