එල්නීනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දීර්ඝකාලීන නියඟ තත්ත්වයක් හෝ වර්ෂාපතනයේ දැඩි අඩුවීමක් ඇතිවීමේ අවදානම මේ මොහොතේ ඉතා ඉහළ මට්ටමක නොපවතින බව දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ ලීල් රන්දෙණිය මහතා පවසයි.

එල්නීනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එහි බලපෑම වැඩි වශයෙන් දැනෙනු ලබන්නේ ඊසානදිග මෝසම් වැසි සඳහා විය හැකි බවත්, ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම වැඩි වශයෙන් දැනෙන්නට ඉඩ ඇති බවට පුරෝකථන පෙන්වා දෙන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, දරුණු එල්නීනෝ තත්ත්වයක් වර්ධනය වුවහොත් එහි බලපෑම් දෙසැම්බර් මාසයෙන් පසුව ජනවාරි සහ පෙබරවාරි කාලයේදී වැඩි වශයෙන් දැනෙන්නට ඉඩ ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ඕනෑම කාලගුණික තත්ත්වයකට මුහුණදීම සඳහා පෙරසූදානම අතිශය වැදගත් බව අවධාරණය කළ රන්දෙණිය මහතා, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, ජලාශවල පවතින ජලය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ බිංදු ජල සම්පාදනය වැනි ජලය අපතේ නොයන ක්‍රමවේද භාවිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

එමෙන්ම දරුණු එල්නීනෝ තත්ත්වයක් ඇතිවුවහොත් ආහාර නිෂ්පාදනයට බලපෑම් එල්ලවී ආහාර හිඟයක් පවා ඇතිවිය හැකි බැවින්, අතිරික්ත ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.