22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලට තම විරෝධය පළ කිරීමට අවස්ථාව පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී.

අද (01) පැවති රජයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්වජන බලය ඇතුළු දේශපාලන පක්ෂවලට මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටද අදාළ කරුණ සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බවය.

කෙසේ වෙතත්, 22 වන සංශෝධනය මුල් කරගනිමින් දේශපාලන පක්ෂ විසින් විරෝධතා හෝ වෙනත් ක්‍රියාමාර්ග ගනු ලැබුවද එහි බලපෑම සීමිත විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

නීතිඥ සංගමයක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වුවහොත් නඩු කටයුතු ප්‍රමාද වීමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළේය.

එහෙත් වෛද්‍යවරුන්ගේ සංගමය 22 වන සංශෝධනය පදනම් කරගනිමින් වැඩවර්ජනයකට යොමු වුවහොත් එය ජනතාවට, විශේෂයෙන් රෝගීන්ට බලපෑම් ඇති කළ හැකි බැවින් එවැනි ක්‍රියාමාර්ගයකින් වළකින ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>