2026 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි 20 ලක්ෂ වැනි සංචාරකයා අද (20) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ. රුසියානු ජාතිකයකු වන එම සංචාරකයා සිය පවුලේ සාමාජිකයන් දෙදෙනකු සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

අඛණ්ඩව තෙවැනි වසරටත් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව, 2018 වසරෙන් පසුව 2024, 2025 සහ 2026 යන වසර තුනේදීම එම සීමාව පසු කිරීමට හැකි වී තිබේ.

2024 වසරේ දෙසැම්බර් 26 වැනිදාත්, 2025 වසරේ නොවැම්බර් 17 වැනිදාත්, 2026 වසරේ නොවැම්බර් 20 වැනිදාත් මෙම සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව සඳහන් වේ.

ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ වුවද සංචාරක කර්මාන්තය අඛණ්ඩව ප්‍රගතියක් ලබා ගැනීම මෙරට සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු කරන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. එමෙන්ම, 2025 වසරේ සංචාරක පැමිණීම් වාර්තාවද ඉක්මවා යෑම 2026 වසරේ අපේක්ෂාව බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.