සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසුවකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද 2025 අප්‍රේල් 29 වැනිදා මිය ගිය බව කියන සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන වසරේ (2027) අප්‍රේල් 27 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය.

අචල වෙන්ගප්පුලි, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර පාර්ශ්වය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

නවක වද සිද්ධියකින් ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් ගම්පොළ අටභාගේ ප්‍රදේශයේ පදිංචිව සිටි එම සිසුවා මිය ගිය බව පෙත්සම මඟින් සඳහන් කර ඇත. මෙම සිද්ධිය හරහා මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතනවල නවක වදය වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු 69 දෙනකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව වාර්තා වේ.