ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්යාධිකාරීවරයෙකු වූ සුමතිපාල මහනාම අබේවික්රම සහ ශ්රී ලංකා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්රියාකාරී අධ්යක්ෂවරයෙකු වූ සරත්චන්ද්ර ගුණරත්න ජයතිලක යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරු අයි.එල්.කේ. දිසානායක වෙත නිකුත් කර තිබුණු චෝදනා පත්රයක් අනුව පැවැති විධිමත් විනය පරීක්ෂණයකින් පසුව වරදකරු කර, එකී දුම්රිය රියදුරු වහාම ක්රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට දුම්රිය සාමාන්යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න විසින් නිකුත් කර තිබූ විනය නියෝගය සම්පූර්ණයෙන්ම වෙනස් කර, ඉහත දුම්රිය රියදුරු සේවයෙන් පහ කිරීමට කටයුතු නොකර, ඔහුට වාසි සහගතව ක්රියා කිරීම සම්බන්ධව සුමතිපාල මහනාම අබේවික්රම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම, ශ්රී ලංකා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන ‘සිරිකොත’ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන්, රාජ්ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදු කිරීම සම්බන්ධව සරත්චන්ද්ර ගුණරත්න ජයතිලක යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම හිටපු නිලධාරින් දෙදෙනා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





