සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට පහර දුන් බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් චීන ජාතිකයකු මාලඹේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු මන්ත්‍රීවරිය සිදු කළ පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත වීමට අවශ්‍ය බව පහර කෑමට ලක් වූ බව කියන හිටපු මන්ත්‍රීවරිය ප්‍රකාශ කිරීමත් සමඟ, පොලිසිය අධිකරණ වෛද්‍ය පෝරම නිකුත් කර ඇය රෝහල්ගත කිරීමට කටයුතු යොදා තිබේ.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර චීන ජාතිකයා විවාහ වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ සහෝදරයා හමුවීම සඳහා හිටපු මන්ත්‍රීවරියගේ නිවසට පැමිණ ඇති බවය. සැකකරුගේ මස්සිනා වන එම පුද්ගලයා හිටපු මන්ත්‍රීවරියගේ සමීප හිතවතකු බවත්, ඔහු කලක සිට ඇයගේ නිවසේ නවාතැන් ගෙන සිටින බවත් සඳහන් වේ.

නිවස තුළදී හිටපු මන්ත්‍රීවරිය සහ මෙම චීන ජාතිකයා අතර ඇති වූ උණුසුම් කතාබහක් දුරදිග යෑමෙන් අනතුරුව මෙම පහර දීම සිදු වූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව වාර්තා වේ.