පාර්ලිමේන්තුවේ සෙන්කෝලය සම්බන්ධයෙන් අතීතයේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අතීතයේ විපක්ෂය සෙන්කෝලය උස්සගෙන යාම වීර ක්‍රියාවක් ලෙසත්, එය වැළැක්වීම ආණ්ඩුවේ වීර ක්‍රියාවක් ලෙසත් සලකා තිබූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, එවැනි ක්‍රියා කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට නොගැළපෙන බව අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව තුළ ගැටුම්, බලහත්කාරකම් සහ කලහකාරී හැසිරීම් වෙනුවට ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය යුතු බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් එවැනි ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිටි බවත්, ශිෂ්ටභාවය පෙන්වමින් කටයුතු කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ස්තූතිය පළ කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.