සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණ ලබාදුන් පිරිස් පිළිබඳ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඇතැම් පාර්ශ්ව අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට ඔවුන් ඝාතනයෙන් බේරා ගැනීම සඳහා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඇතැම් දේශපාලනඥයන් අතර සබඳතා පිළිබඳවද මේ වනවිට හෙළිදරව් වෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

මෙවැනි හෙළිදරව් කිරීම් කාලයත් සමඟ යටපත් වීමට ඉඩ නොදෙන බවත්, නීතිය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුකරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.