කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතුවල නිරත වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ජපන් ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය නොවැම්බර් 14 වැනි දින බලපිටියේදී ජපන් ආයෝජනයක් යටතේ ඉදිකරන ලද නව හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජපන් ආයෝජකයන් මෙන්ම දේශීය ව්‍යාපාරිකයන් ද සහභාගී වූ මෙම උත්සවයේදී මන්ත්‍රීවරයා ජපන් බසින්ම ආයෝජකයන් ඇමතීම විශේෂ සිදුවීමක් විය. අතීත ආණ්ඩු සමයන්හිදී විදේශීය ආයෝජකයන්ට විවිධ ප්‍රායෝගික දුෂ්කරතාවලට සහ අකටයුතුකම්වලට මුහුණදීමට සිදු වූ බවත්, ඇතැමුන්ට තම ආයෝජන පවා අහිමි වී ඒවා නැවත ලබා ගැනීමට නීතිමය මාර්ගවලට පිවිසීමට සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, වත්මන් රජය යටතේ විදේශීය ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ඔවුන්ගේ සෑම ආයෝජනයකටම නිසි වටිනාකමක් ලබා දීමට අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ආයෝජන සඳහා කිසිදු අල්ලසක් ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එවැනි ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.
මීට අමතරව, බැංකු ක්ෂේත්රය ඇතුළු ආයතනික ව්‍යුහයන්හි පවතින ආයෝජනවලට අහිතකර යල්පැනගිය ක්‍රමවේද නවීකරණය කරමින්, විදේශීය ආයෝජකයන්ට වඩාත් හිතකර, ආරක්ෂිත සහ කාර්යක්ෂම පරිසරයක් සකස් කිරීම සඳහා රජයේ විශේෂ අවධානයක් යොමුවී ඇති බවද අශෝක රන්වල වැඩිදුරටත් සඳහන් කළේය.
