ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති දැඩි මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් සම්බන්ධයෙන් යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම තත්ත්වයන් දැඩි සමාලෝචනයට ලක් විය.
දැනට භාවිත වන ගුවන් යානා 23 ක සංචිතය ප්‍රමාණවත් නොවීම මෙන්ම ඒවා දළ වශයෙන් වර්ෂ 12 ක් පමණ පැරණි වීම හේතුවෙන් නිතර මතුවන තාක්ෂණික දෝෂ මෙහෙයුම් කටයුතුවලට බාධාවක්වී ඇති බව මෙහිදී අනාවරණය විය.
විශේෂයෙන්ම එක් යානයක දෝෂයක් හේතුවෙන් ප්‍රමාදයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමේ සීමාකාරී තත්ත්වයන් නිසා සමස්ත ගුවන් ගමන් ජාලයටම දැඩි බලපෑම් එල්ල වන බව නිලධාරීහු පෙන්වා දුන්හ.
මීට පෙර ක්‍රියාත්මක වූ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි අසාර්ථකවීම් මඟහරවා ගැනීම සඳහා නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ගැට් කිරීමටත්, අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් පිහිටුවීමටත් පියවර ගෙන තිබේ.
නව මාර්ගෝපදේශ යටතේ ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි යානයක් සහ වයිට්-බොඩි යානා දෙකක් එක්කර ගැනීමට අපේක්ෂා කරන අතර, 2029 වන විට යානා සංචිතය 29 දක්වා ඉහළ නැංවීම පස් අවුරුදු සැලැස්මේ අරමුණ වී ඇත.
ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය නඟාසිටුවීම සඳහා භාණ්ඩාගාරය විසින් පැරණි බැංකු හා බැඳුම්කර ණය පවරා ගැනීමට කටයුතු කර ඇති අතර, ලීසිං ගාස්තු හා ඉන්ධන පිරිවැය පාලනයටද වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක වේ.
මැදපෙරදිග අර්බුද සහ ජාත්‍යන්තර තරගකාරීත්වය වැනි බාහිර අභියෝග මැද, ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආයෝජකයන් ලබා ගැනීම හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් ඇතුළු විකල්ප රැසක් සලකා බලමින් පවතී. ඒ අනුව, ඉදිරි වසර කිහිපය තුළ ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට දැඩි උපදෙස් ලබා දී තිබේ.




