අයථා ලෙස වත්කම් රැස් කිරීමට චෝදනා එල්ල වී සිටින, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාරදීම සිදු කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී, අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනු කර තිබුණු අධි චෝදනා භාරදීම සිදු කර තිබේ.

ඉන් අනතුරුව, විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

2022 ජනවාරි 01 වැනිදා සහ 2023 නොවැම්බර් 14 වැනිදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566,444.76 ක් වටිනා වත්කම් හා දේපළ උපයාගෙන, ඉන් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත, මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර තිබෙනවා.