මෙරට සෞඛ්‍ය සේවාවේ පරිපූරක (PSM) සහ අතුරු වෛද්‍ය (Paramedical) වෘත්තිකයින් 952 දෙනෙකුට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කොළඹ BMICH හිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) 449 ක් සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) 77 ක් ඇතුළු 526 දෙනෙකුට ඩිප්ලෝමා පිරිනැමීමද පාසල් දන්ත චිකිත්සක සේවා (SDT) 39 ක්, ඖෂධවේදීන් 149 ක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් (PHI) 238 ක් ඇතුළු 426 දෙනෙකුට උසස් ඩිප්ලෝමා ලබාදීමද සිදු කෙරුණි.

අමාත්‍යවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවත්, එය සපුරා ගැනීමට දක්ෂ හා කැපවූ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සේවය අත්‍යවශ්‍ය බවත්ය.
ඔහු තවදුරටත් පැවසූයේ, සෞඛ්‍ය සේවාව නවීකරණය කරමින් ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම, අඛණ්ඩ පුහුණුව හා අධ්‍යාපනය ලබාදීම, ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කිරීම ආදී ක්‍රියාමාර්ග රජය ගන්නා බවයි.

එමෙන්ම, ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු පවුල් සෞඛ්‍ය සේවිකා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙලත් මෙම වසරේ ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.