උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමේ අරමුණින් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ, වියළි මිරිස් හැර අනෙකුත් සියලු ආනයනික භාණ්ඩ බාධාවකින් තොරව වෙළෙඳපොළට සැපයිය හැකි බව ආනයනකරුවන් පැවසූ බවය.
වියළි මිරිස්වල හිඟතාවයක් පවතින්නේ තෙතමනය පිළිබඳ ගැටළුවක් හේතුවෙන් බවත් ඉන්දියාවෙන් ගෙන්වන ලද කන්ටේනර් සිරවීමකට ලක්ව ඇත්තේ මිරිස්වල තෙතමනය ඉහළයාම හේතුවෙන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති සහ ආහාර සුරක්ෂිතතා නිර්ණායක අනුව මෙරටට ආනයනය කරන වියළි මිරිස් තොග නිදහස් කිරීමට ඒවායේ තෙතමන ප්‍රතිශතය සියයට 12ට අඩු විය යුතුය.එහෙත් ඉන්දියාවේ පවතින අධික වර්ෂාපතනය සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඇතැම් වියළි මිරිස් තොගවල තෙතමන ප්‍රතිශතය සියයට 13ත් 14ත් අතර පැවතීම නිසා එම බහාලුම් නිදහස් කර ගැනීමේදී ප්‍රමාද මතු වී ඇති බව ඔහු සඳහන් කළේය.
මෙය වෙළෙඳපොළේ මිරිස් හිඟයක් නොව, ප්‍රමිතිවලට අනුකූලව තොග නිදහස් කර ගැනීමේදී මතු වූ ගැටලුවක් බවද අමාත්‍යවරයා කීවේය.මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් ඉදිරියේදී මෙරටට එන මිරිස් තොගවලද තෙතමනය ඉහළ යෑමේ අවදානමක් ඇති බැවින්, ලබන මාර්තු දක්වා ක්‍රියාත්මක කළ හැකි අන්තර්කාලීන වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ආනයනකරුවන් ඉල්ලීමක් කර ඇති බව වසන්ත සමරසිංහ මහතා පැවසීය.
සැපයුම් ගැටලු ප්‍රයෝජනයට ගනිමින් අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කළහොත් ඊට එරෙහිව රජය මැදිහත් වන බවද ඔහු අවධාරණය කළේය. වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වීම රජයේ අපේක්ෂාව වන අතර අනවශ්‍ය ලෙස මිල පාලනය කිරීමට අවශ්‍ය නොවන නමුත්, පවතින සැපයුම් ගැටලු අවභාවිත කරමින් පාරිභෝගිකයන් සූරාකෑමට උත්සාහ කළහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පාරිභෝගික සේවා කවුන්සිලය හරහා අවශ්‍ය පියවර ගෙන පාලන මිලක් නියම කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.





