ලබන මාසය වන විට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා අද (20) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දීර්ඝ වීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙලෙස උද්ධමනය ඉහළ යෑමට බලපා ඇති බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. පසුගිය මාසය අවසානයේදී මෙරට උද්ධමනය සියයට 8.3ක් ලෙස වාර්තා වූ බවද ඔහු කීය.

2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් පසුව අඩු වනු ඇතැයි පුරෝකථනය කර තිබූ බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය. එහෙත් යුද තත්ත්වය කෙටි කාලීන වනු ඇතැයි හා ඉන්ධන මිල පසුව ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කළද, ජාත්‍යන්තර තත්ත්වය දීර්ඝ කාලයක් පැවතීම හේතුවෙන් එම පුරෝකථන වෙනස් වී ඇති බව ඔහු සඳහන් කළේය.

උද්ධමනය හැකි ඉක්මනින් සියයට 5ක ඉලක්කගත මට්ටමට ළඟා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා, ඉහළ උද්ධමනය රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට දැඩි බලපෑම් එල්ල කරන බවද පෙන්වා දුන්නේය.