අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා, සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළ අතර සැකකරුගේ විදේශ ගමන්ද තහනම් කර තිබේ.
ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 16 වන දා කැඳවීමටද නියම කර තිබෙනවා.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04 ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට, නීත්‍යානුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර, ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 ක මුදලක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.






