ධීවර කර්මාන්තය නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරමින් ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා හඳුන්වා දුන් විශේෂිත ජංගම දුරකථන යෙදවුම තවදුරටත් පුළුල් කර නවීකරණය කිරීමට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහසක් (බිලියනයක්) වෙන් කර ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කළේය. ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නූතන සමාජයේ දෛනික කටයුතු සඳහා ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණක සහ ටැබ් වැනි ඩිජිටල් උපකරණ බහුලව භාවිත වුවද, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට එවැනි දියුණු තාක්ෂණික මෙවලම් නිසි පරිදි මෙතෙක් ළඟා වී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

ධීවරයන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් නව තාක්ෂණික යෙදවුමක් හඳුන්වා දීමට පියවර ගත් බව සිහිපත් කළ රත්න ගමගේ මහතා, ගැඹුරු මුහුදේ පවතින සංවේදී කාලගුණික තොරතුරු සහ සාගර සම්පත් පිළිබඳ දත්ත ධීවරයන් වෙත කඩිනමින් සැපයීම සඳහා එම පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීමට 2026 අයවැයෙන් රුපියල් බිලියනයක මුදලක් වෙන් කර ඇති බවද සඳහන් කළේය.