අද(26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලද්දේ,
ජනතා පරමාධිපත්‍ය සුරකිමින් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට රජය කටයුතුකරන බවය.

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් වෙන් නොකළද පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීමෙන් වුවද ඡන්දය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

නමුත් ඒ් සඳහා පවතින නීතිමය ප්‍රතිපාදනවල ගැටලු ඇති බවත් එම ගැටලු මේ වන විට නිරාකරණය කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධව පාර්ලිමේන්තු කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතින බවත් අදාළ නීතිමය ප්‍රතිපාදන ලැබුණු වහාම මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.